Monday, December 7, 2020

සුනිල් දයානන්ද කෝනාර ගීත නිර්මාණාවලිය

දිසාපාමොක් ගුරුකුලයේ සංගීතාචාර්යවරයෙකු සේ ඉඳුරා ම හැඳින්විය හැකි නූතන සමාජය හෙබ වූ යම් ගුරුවරයෙකු වී නම් ඔහු නම් කරන්නැයි කියූ කල්හි කිසිදු පැකිලීමකින් තොර ව මා නම් කරන එක් සංගීතවේදියෙක් විය. හේ සුනිල් දයානන්ද කෝනාර නම් වූ අපූරු වාග්ගේයකාරයා ය.

- ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

දඹදෙණිය, මුතුගල නම් ගම් පියසේ උපත ලැබ මුතුගල කනිෂ්ඨ විද්‍යාලයෙන්, දඹදෙණිය මහා විද්‍යාලයෙන් හා නාරම්මල මයුරපාද ජාතික පාසලෙන් ද අධ්‍යාපනය ලැබූ ඔහු 1969 වසරේ මැද භාගයේ දී පමණ රජයේ සංගීත විද්‍යාලයට පිවිසි පළමු වසර සිසුන් වූ - අද වන විට ප්‍රවීණ සංගීතවේදීන් වන - රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, ලෙස්ලි විජේවික්‍රම ආදී අය අතරේ සිටි එක් නිහඬ පුද්ගලයකි. ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයෙකු හා සංගීතඥයෙකු වශයෙන් සහෘද රසික ලෝකයේ චිර ප්‍රසිද්ධියට පත් කලාකරුවෙකු හා සොඳුරු ගුරුවරයෙකු ව සිට මීට දෙවසරකට ඉහත දී 2016 දෙසැම්බර් මස 07 වන දා සදහට දැයෙන් සමු ගත් ඔහුගේ සුවිශේෂී සංගීත භාවිතාව මෙරට ගීත ක්ෂේත්‍රයෙහි වැදගත් සලකුණකි.

දේශීය ළමා ගී සාහිත්‍යයට නව මුහුණුවරක් ලබා දෙමින් ඔහු විසින් ඉටු කළ පුරෝගාමී මෙහෙවර මෙහි දී අවශ්‍යයෙන් සිහිපත් කළ යුතු ය. නිදසුන් ලෙස දක්වන්නේ වී නම් විශාරද හර්ෂණ දිසානායක ගායනා කළ රත්නපුරෙන් ගෙන ආ සමන් මල්..., දහම් පාසලේ පොඩි හාමුදුරුවො..., දිය බෙරලිය දලු... ආදී සුනිල් දයානන්ද කෝනාරයන් ම පද රචනා කරමින් සංගීතවත් කළ ගීත පෙරමුණේ සඳහන් කළ හැකි ය. වෘත්තියෙන් ගුරුවරයෙකු වීමත්, හෘදය සංවාදී කලාකරුවෙකු වීමත් ඔහුගේ ළමා සාහිත්‍යකරණයන්හි සාර්ථකත්වයට පිටිවහල් වූ බව නිසැක ය.

“සුනිල උත්පල: සුනිල් දයානන්ද කෝනාර සුභාවිත ගීත සම්ප්‍රදානය” නමැති කෘතිය වූකලි එතුමාගේ සියලු ගීත නිර්මාණ සහ ජීවන තොරතුරුත්, සහෘද මතකාවර්ජන සහ විචාර වීමංසාත් සංගෘහිත එක ම කෘතියයි. ප්‍රවීණ ගේයපද රචක, මාධ්‍යවේදී සුගත් සෝමවීර සුලවතාණන්ට එහි මුල් ම ගෞරවය හිමි විය යුතු ය. මෙහි අරමුණ වන්නේ යූටියුබයේ නෙතැන විසිරී ඇති එතුමාගේ ගීත නිර්මාණ රසවිඳිනු වස් සහෘදයින්ට අවකාශ සැලසීමය‍ි. පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න. යූටියුබයේ සොයාගත නොහැකි තවත් බොහෝ නිර්මාණ පවතින බව සැලැකුව මැනැවි.

කීර්ති ක්ලේශයන්ගෙන් තොර බෝධිසත්ව ගුණෝපේත අනුපමේය මනුෂ්‍යයෙකු වූ සුනිල් දයානන්ද කෝනාරයන්ට මෙය උපකාරයක් ම වේ වා!

____________________________

ගායනා කළ ගීත

බුදු රැස් දහරින් - සුනිල් දයානන්ද කෝනාර සහ පුණ්‍යා කත්‍රිආරච්චි


පද රචනා කරමින් සංගීතවත් කළ ගීත

අතුරු මිතුරු දඹදිව තුරු - බන්දුල විජේවීර

අවාරේ මී මොර මල් - උදය පුෂ්පකුමාර විජයසුන්දර (සංගීතය: කේ.පී. ගුණසේන)

ගමට කලින් හිරු - තරුණාරත්න දිවුල්ගනේ

ගිනි මද්දමනේ - රුක්මණී තිලකරත්න

දිය බෙරලිය දලු - හර්ෂණ දිසානායක

පිනි පොදක් නැතුව - කරුණාරත්න දිවුල්ගනේ

පෝයට ඇවිළෙන හඳක් වගේ - කරුණාරත්න දිවුල්ගනේ 

මහ කනදරා වැව ඉස්මත්⁣තේ - සනත් දේවප්‍රිය

මහ වැස්සක් බිමට හලා - සුනිල් එදිරිසිංහ

රත්නපුරෙන් ගෙන ආ සමන් මල් - හර්ෂණ දිසානායක

සමනළ පාලම උඩ - ක්‍රිෂාන්ත එරන්දක

සුදු පාට මල් පිපුණ - කරුණාරත්න දිවුල්ගනේ


සංගීතවත් කළ ගීත

අලුත් වත්සුනු සවඳකින් - කිත්සිරි ජයසේකර

ඉරට උඩින් සින්දු කියන - සුනිල් එදිරිසිංහ

කතා කරන ඇසි පිය යට - තිලිණි අනුරාධා කන්දෙගෙදර

කිසා ගෝතමී නැන්දණියේ - තීර්ථ ඉඳුුවර

කිසාගෝතමී නැන්දණියේ - යශෝධා  ප්‍රියදර්ශනී

කුසුම ඔබ - ඩබ්.ඩී. ආරියසිංහ

ගයා මංගල පිරිත - හර්ෂණ දිසානායක

ගුරු ගෙදර පිපෙන මල් - කරුණාරත්න විජේවර්ධන සහ කේතකී සුරවීර

තාත්තා වගේ නුඹ ගැන - හර්ෂණ දිසානායක

පාන්දරින් ඉස්කෝලෙට හර්ෂණ දිසානායක

පැන්සොන් දිනය - සුනිල් එදිරිසිංහ 

පොකුරු පොකුරු මල් - ශෂින්ත  ප්‍රබෝද් අමරසිංහ

මට කියන්න කවි - තිලිණි අනුරාධා කන්දෙගෙදර

මන්නාරම් බස් එක නෑ - කරුණාරත්න දිවුල්ගනේ

මල් පෙති පවා (මවුස් චිත්‍රපටය) - යසන්ත සමරවීර 

රෑ හෙවනැලි - ඩබ්.ඩී.ආරියසිංහ

වන්නි වන හිස - කරුණාරත්න දිවුල්ගනේ

වහින්න⁣ට හැකි නම් - නන්දා  මාලනී

සංහිඳේ දෙවියන්ගෙ පාමුල  - සමන් ලෙනින්

සිනා මල් පොකුරු - මධුෂිකා  ප්‍රියදර්ශනී

සුසුම් සුළඟට - හර්ෂණ දිසානායක සහ ලක්ෂණා ලක්මිණි


ළමා ගී සංයුක්ත තැටි

ගංගාවක් වෙන්නම් (2007)

ගංසූරිය මල් (2015)

තාරකා (2016)

මේ තැටිවල ඇති ගීත කිහිපයක් හැරුණු විට සෙසු ගීත යූටියුබයේ සොයා ගැනීමට නැත. ඒ නිසා මේ ඉදිරිපත් කිරීම ඉතාමත් අසම්පූර්ණ ඉදිරිපත් කිරීමකි. තව ද සිය ගණනක් ගීත සුනිල් දයානන්ද කෝනාරයන්ගේ සංගීතයෙන් හැඩ වී ඇති බව කිව යුතු ය.


Thursday, December 3, 2020

මඩවල රත්නායක ගේය කාව්‍යාවලී

ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ පුරෝගාමී ගේය පද රචකයෙකු වූ මඩවල එස්. රත්නායක කතාකරුවෙක්, පරිවර්තකයෙක්, මාධ්‍යවේදියෙක් වශයෙන් ද ජනාදරයට පත් වූවෙකි. දේශීය සංගීත සම්ප්‍රදායයක් ගොඩනැඟීමෙහිලා පණ්ඩිත් අමරදේවයන්ගේ ව්‍යායාමයට සාහිත්යික පාර්ශ්වයෙන් දායක වූයේ මඩවල රත්නායකයි. අමර‍දේවයෝ මෙසේ කියති:

“භාරතයේ සිට පෙරලා පැමිණි මා දේශීය ගායන ශෛලියක් බිහි කරගැනීමේ අරමුණින් නිෂ්පාදිත ‘ජන ගායනා’ නම් වූ ගුවන්විදුලි ගීත විචිත්‍රාංගය මඩවල රත්නායක සමඟ අරැඹීමි... එයින් මතු කෙරුණු ජන ගී ආර මඟින් අද්‍යතන නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ රීතිය පෝෂණය වනු දැකීම සොම්නසට කාරණයකි.

ඉනික්බිති ව නිෂ්පාදිත ‘රස මියුරු’ හා ‘ස්වර වර්ණ’ යන විචිත්‍රාංග මඟින් තව තවත් පෘථුල ගීත වෛචිත්‍රයක් කරා යොමු වීමට අප දෙදෙනාට හැකි විය.”

1955 දී ‘නවක චලිත සීත සුළඟ...’ නමැති නිර්මාණයෙන් ගීත රචනා ක්ෂේත්‍රයට අවතීර්ණ වන මඩවල රත්නායක විසින් රචිත ගීත සංඛ්‍යාව තුන්සියකට නොඅඩු ය. එවායෙන් කිහිපයකට හැරුණු කල සියලු ගීතයන්හි සංගීත නිර්මාණය පණ්ඩිත් අමරදේවයන්ගේ ය. මඩවල රත්නායකගේ ගීත නිර්මාණ පිළිබඳ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මෙසේ කියයි:

“මගේ රුචිය අනුව ඔහුගේ අනන්‍යසාධාරණ ප්‍රතිභාව දැක්ක හැක්කේ ඔහුගේ කාව්‍ය නිර්මාණවල ය. මෑත යු‍ගයෙහි කොළඹ කවීන්ලෙස හඳුන්වනු ලබන පද්‍ය රචකයන් විසින් යොදා ගන්නා ලද මූලෝච්ඡින්න බස් වහර හා සසඳන විට මඩවල කවියා විසින් ගැමි කාව්‍ය වහරින් පෝෂණය ලැබ සකසා ඇති බස කෙතරම් කාව්‍යෝචිත ද? කෙතරම් රසවත් ද? කියා පාඨකයාට පෙනෙනු නියත ය.

මඩවල රත්නායකගේ කවි බස හැඩගැසී ඇත්තේ පැල් කවි, ගොයම් කවි ආදියේ ආභාසයෙන් මෙන් ම ‘විරහ’ යන නමින් හැඳින්වෙන ගී වෙසෙසින් බව ඔහුගේ බස් වහරින් හා රචනාවල රිද්මයෙන් ද නිගමනය කළ හැකි ය.”

මඩවල රත්නායකගේ බොහෝ නිර්මාණ තවමත් ගුවන්විදුලි තැටි අතර සැඟවී පැවැතුණ ද ඇතැම් ගීත යූටියුබ් සහ වෙනත් වෙබ් අඩවි ඔස්සේ රසවින්දනය කිරීමට හැකියාව පවතී. ‍මෙම Blog පෝස්ටුවෙහි අරමුණ වනුයේ නෙතැන විසිරී ඇති එම ගීතාවලිය අදාළ වෙබ් සබැඳි සමඟ එක්තැන් කොට සහෘද ඔබට ප්‍රදානය කිරීමයි.

එහි දී තිස්ස මඩවල, එල්. කේ. හෙට්ටිආරච්චි යන මහත්වරුන්ටත්, මුරුතලාවේ ඤාණවිමල හිමිපාණන් වහන්සේටත් අපගේ හෘදයංගම ස්තුතිය සහ ගෞරව ප්‍රණාමය හිමි විය යුතු ය. එසේ ම මෙම ගීත කිසිදු ආකාරයකට විකෘති කිරීමෙන් සහ නැවත පටිගත කිරීමෙන්, නැවත පළ කිරීම් ආදියෙන් වැලකීමට කාරුණික වුව මැනැවි. කර්තෘ හිමිකම් සුරකිනු මැනැවි. රසවින්දනයත්, අධ්‍යයනයත් උදෙසා ම පරිහරණය කළ මැනැවි.

________________________

අත්තන මල සේ - ඩබ්.ඩී.අමරදේ්‍ව

අඳුර මුදා හිරු - වික්ටර් රත්නායක

අහස පොළොව එකට බැ‍ඳෙන - ඩබ්.ඩී.අමරදේ්‍ව

ඈත නිල්වන් ගුවන් විමනින් - ඩබ්.ඩී.අමරදේ්‍ව

උදා ගිරෙන් එබී - වික්ටර් රත්නායක

ඒ හිරු මේ හිරු (පායා ආ හිරු) - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස

ඔබේ ඇතැඟිලි අඟින් - වික්ටර් රත්නායක

කමල හදවත ඔබේ - ඩබ්.ඩී.අමරදේ්‍ව

කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේ - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ නීලා වික්‍රමසිංහ

කැලේ ගහක මල් පිපිලා - ඩබ්.ඩී.අමරදේව

කෝටියක් තරු - ඩබ්.ඩී.අමරදේ්‍ව

ගිනි ගැනුණු වැලි පොළොව - ඩබ්.ඩී.අමරදේ්‍ව

ජය හේ ලංකා - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස

ජීවිත කතරේ එතෙර නොදක්නා - ඩබ්.ඩී.අමරදේ්‍ව

තණ්හා ආශා (පටාචාරා) - ඩබ්.ඩී.අමරදේ්‍ව

තිලෝ තිලක අජරාමර - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස

නටති මේ උදයේ - ඩබ්.ඩී.අමරදේ්‍ව

නයන නීල උපුල් මෙනා - ඩබ්.ඩී.අමරදේ්‍ව

නැව් පුරා සහල් යවා - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස

නිල් අහසයි නිල් පොළොවයි - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස

නිල් මානෙල් මල් පිපුණා - ඩබ්.ඩී.අමරදේ්‍ව

නීල නුවන් රස අංජන ලාලා - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස

නිවාලන්න හදවත බර - ඩබ්.ඩී.අමරදේ්‍ව

නේරංජනා ගඟ අසබඩ (චාපා ගීත නා‍ටකය) - ඩබ්.ඩී.අමරදේ්‍ව

නොදැමුණු රළ තෙරපේ (පටාචාරා) - නන්දා මාලනී 

පෙරුම් පුරාගෙන - නීලා වික්‍රමසිංහ

බක් මහ වැස්සට - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස

බඹරෙකු ආවයි - ඩබ්.ඩී.අමරදේ්‍ව

බාලොලි ලොලි ලොලී (පටාචාරා) - නන්දා මාලනී

බින්දු බින්දු රන් - ඩබ්.ඩී.අමරදේ්‍ව

මා ගී ගැයුවේ ඔබට නොවේ - එඩ්වඩ් ජයකොඩි

මාල ගිරා කැල - ඩබ්.ඩී.අමරදේ්‍ව

මින්දද හී සර - ඩබ්.ඩී.අමරදේව

මිහිරියේ ගැමි ළ‍ඳේ - ඩබ්.ඩී.අමරදේ්‍ව

මේඝ වලාවක් - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස

රන මොනරයි රන මොනරියි - ඩබ්.ඩී.අමරදේ්‍ව

රන් වන් කරල් සැලෙයි (ටිකිරි ලියා ගීත නාටකය) - ඩබ්.ඩී.අමරදේව

රෑ කල පැලට වී - වික්ටර් රත්නායක

ලෙළෙන ලවංග ලතා - වික්ටර් රත්නායක

වන්දිතාය වන්දිතම් - ඩබ්.ඩී.අමරදේ්‍ව

වලා ගැබින් තරු අතරින් - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස

සැඳෑ අඳුර තුළ - ඩබ්.ඩී.අමරදේව

සැඳෑ කළුවර - නන්දා මාලනී

සෝකය පොදි බැඳි - ඩබ්.ඩී.අමරදේ්‍ව

ස්වර්ණ විමානෙ‍ට (ගැටවරයෝ) - ඩබ්.ඩී.අමරදේ්‍ව

හිරු දෙවිගෙන් ලද වරමින් - නන්දා මාලනී

හිරු මඬලින් වලා පෙළින් - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස

හීන හතක් මැද (ගැටවරයෝ) - ඩබ්.ඩී.අමරදේ්‍ව

හීන හතක් මැද (ගැටවරයෝ) - ලතා වල්පොල

හුරු නැති මඟක ගොස් - ඩබ්.ඩී.අමරදේ්‍ව


Wednesday, June 3, 2020

වල ද? වළ ද?



පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයට "වළ" යන අන්වර්ථ නාමය පටබැඳී ඇත්තේ එහි කුහරාකාර පිහිටීම නිසා ය.

පොළොවෙහි හෑරුණු තැන, කුහරය යන අර්ථ සම්පාදනය සඳහා සංස්කෘත භාෂාවෙහි "ආවාට" යන වදන ව්‍යවහාර වේ. [अवट (avaTa): a hole, vacuity in the ground.] එසේ ම පාලි භාෂාවෙහි ද "ආවාට/වාට" යන වදන් ව්‍යවහාර වේ.

මෙකී අර්ථ සම්පාදනයෙහිලා සිංහල භාෂාවෙහි ව්‍යවහාර වන්නේ "වළ" යන තත්භව වදනයි. එනම්, එය උක්ත මාතෘ භාෂාවන්ගෙන් සිංහලයට බිඳුණු වදනකි. "වළ" යන්න සිංහලයට බිඳී ඇත්තේ "වාට" යන තත්සම රූපයෙනි.

මාතෘ භාෂාවන්හි එන "ට", "ඨ" සහ "ඪ" කාරයන් සිංහලයට බිඳෙනුයේ මූර්ධජ "ළ" කාරය වශයෙනි. "වළ" යන වදනෙහි "ළ" මූර්ධජ වන්නේ එබැවිනි.

වාට > වළ

පහත නිදසුන් ද විමසන්න.

චක්‍රාවාට > සක්වළ
දාඨා > දළ
සාටක > සළු
නාටක > නළු
පටිපාටි > පිළිවෙළ
දෘඪ > දළ
පාටලී > පළොල්

"වල" යනු කැලයයි. ("වල්" ප්‍රකෘතියයි.) වලය, වළල්ල යන අර්ථයන් ද ඊට ඇත.

යම් හෙයකින් සරච්චන්ද්‍ර රංග පීඨයට "වළ" යැයි ව්‍යවහාර වනුයේ එහි වලයාකාර නොහොත් වළලු ආකාර පිහිටීම නිසා නම්, ඒ අනුව ද "වළ" විය යුතු විනා "වල" වන්නේ නැත. චතුර සම්පත් ගණේ‍පොළ සුරුවන්ගේ පහත සටහන විමසන්න.

පෙළ, සකු "වන" යනු හෙළයෙහි "වල්" වේ. මෙහි වූයේ දතකුරු "න්" කාරයට දතකුරු මැ "ල්" යෙදීම යි.

දෙහිවල
වලි කුකුළු
වල් දෙල් වැනි තැනැ එනුයේ මේ වනරුත් වල් යැ.

පෙළ, සකු වලය යනු හෙළයේ වළා/වළ වේ.
පෙළ, සකු "ල්" යනු බොහෝ විට හෙළ බසේ ද "ල්" ලෙස මැ වූව ද ඇතැම් විට "ළ්" වේ.

උදා: ආවලි = වැළ

වළලු යන තන්හි වනුයේ වලයාර්ථ "වළ" සමඟ ස්වාර්ථ "ලු" පස යි.

වළ-ලු = වළලු

මෙනයින්, පේරාදෙණි විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨය "වළ" මිස, "වල" නොවේ. එසේ භාවිත නොවුණහොත් "වල සතිය" යනු "කැලෑ සතිය" ද, "වලේ සිට ලියමි" යනු "කැලේ සිට ලියමි" යනු ද වෙයි.

Wednesday, May 20, 2020

යුගාන්තයක දීත් අවසන් නොවුණු ආදරය: මාරක ළි‍ඳේ සවාරියක්


නවකතාවක් වූ කලි එක් කලා මාධ්‍යයකි. නාට්‍යය වූ කලි තවත් කලා මාධ්‍යයකි. නවකතාවෙන් සැපයෙන කතා පුවතක් චිත්‍රපටයකට හෝ නාට්‍යයකට රුකුල් දෙන්නක් විය හැකි ය. ඒ අනුව එය නාට්‍යයක ස්වරූපයෙන් හෝ චිත්‍රපටකයට ස්වරූපයෙන් වුව ද ඉදිරිපත් කළ හැකි ය. එසේ වී නම් “මාරක ළිඳේ සවාරියක්” නාට්‍ය සුවිශේෂී වන්නේ නැත.
නාට්‍ය රචකයෙකුට සිය නාට්‍යකරණයේ දී මූලික ව බලපානුයේ තමන් ගෙන හැර පාන්නට උත්සුක වන කථා වස්තුවෙන් සහෘදයාට දිය හැකි වේදිතයයි" තේමාවයි. තේමාව වූ කලි නාට්‍යයේ කතාන්දරය නොවේ' එම කථා ප්‍රවෘත්තිය මඟින් ලෝකයා වෙත කැරෙන ජීවිත විවරණයයි. චාලක රණසූරිය විසින් රචනා කරනු ලැබ නිෂ්පාදිත මෙම නාට්‍යය වූකලි ගම්පෙරළිය නවකතාව මුල් කරගෙන කලියුගය හා යුගාන්තය යන නවකතාවන්හි සාරයෙන් සිය තේමාව තනා ගත් නාට්‍යයකි.
සිංහල නවකතා කලාවට යථාර්ථවාදී රීතිය ගෙන එමින් 1944 දී තුන් ඈඳුතු නවකතාවන්හි “ගම්පෙරළිය” රචනා කරන මාර්ටින් වික්‍රමසිංහ අනතුරු ව රචනා කරනුයේ “යුගාන්තය” (1948) නවකතාවයි. මේ ප්‍රබන්ධද්වය පළ වීමෙන් එල්ල වූ එක් විචාරයක් වූයේ වික්‍රමසිංහගේ දෘෂ්ටියට මේ ගම්පෙරළියටත්, ඒ යුගයේ අන්තයටත් අතර මැදි කාලය අතපසු ව ඇති බවයි. ඊට පිළිතුරු වශයෙන් 1957 දී “කලියුගය” නවකතාව රචනා කරන වික්‍රමසිංහ මනාව ඒ හිදැස පිරවුවේ ය. මේ නවකතා ත්‍රිත්වය වූකලි ඉසියුම් සමාජ, අර්ථ, දේශපාලන හා පුද්ගල ආකල්පමය විවරණක් වශයෙන් ද දැකිය හැකි ය. චාලක රණසූරිය විසින් සිය තේමාව ගොඩනැගීමෙහිලා විචාරක්ෂිය යොමනුයේ මෙ-කරුණු විෂයෙහි ය. එය ඔහු මෙසේ පවසයි. 


... නවකතාකරුවෙක්, සමාජ විශ්ලේෂකයෙක් විදිහට මාර්ටින් වික්‍රමසිංහ රචනා කළ මේ නවකතා තුනෙන් මම දකිනවා ඔහු ඊට අවුරුදු සියයකට පමණ පසු මොන වගේ ආකාරයක සමාජ වටපිටාවක් නිර්මාණ වෙයි ද කියලා නවකතාව අභ්‍යන්තරයේ පොඩි පොඩි අනතුරු ඇඟවීම් කරලා තිබුණා....

ඔහු වැඩි දුරටත් කළ විග්‍රහට අනුව යුගාන්තයේ සයිමන් කබලානගේ පුත් මාලින් කබලාන ඔස්සේ අනාගත ධනවාදය මාක්ස්වාදී ස්වරූපයකින් පවා පැමිණිය හැකි බවට ඉඟියකි, මෙහි දී දැකිය හැක්කේ. නාට්‍යකරුවා සිදු කර ඇත්තේ නවකතා ත්‍රිත්වය තුළ සැඟැ වී ඇති මෙවන් ඉඟි හා අනතුරු ඇඟවීම් ඔස්සේ දැනට මිනිසා පිවිසී නොමැති අනාගතයක් පිළිබඳ නිර්මාණාත්මක ව ආවිෂ්කරණය කිරීමකි.
මාර්ටින් වික්‍රමසිංහ විසින් ගම්පෙරළිය නවකතාව ඇරැඹෙන්නේ  විසි වන සියවසෙහි ආරම්භක අවධියේ දී සිංහල අලුත් අවුරුද්දට සමගාමී සිදුවීමක් පාදක කොටගෙන ය. මහගෙදර පැවැත්වෙන උත්සව අවස්ථාවක් ලෙස මෙය නිරූපණය වන අතර කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ වංසක්කාර ඥාති හිතමිත්‍රාදීන් සහභාගි වුණු මෙම උත්තසයට බාහිරින් සම්බන්ධ වුණු එක ම පුද්ගලයා පියල් ය. ඔහු කුලවතෙකු නොවුණු අතර මහගෙදරට සම්බන්ධ වන්නේ මුහන්දිරම්ගේ දුවරුන් දෙදෙනාට ඉංග්‍රීසි ඉැගන්වීම හේතු කොට ගෙන ය.
එදින ආහාර පාන ගැනීමෙන් අනතුරු ව පිරිස දෙපිල බෙදී පංචා දැමීමේ ක්‍රීඩාවෙහි යෙදෙති. එක් කණ්ඩායම නායකත්වය අනුලාට හිමි වූ අතර අනෙක් කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ පියල්ට ය. මෙහි දී පියල්ට තම උගත්කම හා ඥානය මෙහෙයවා ජයග්‍රහණය කරන්නට හැකි වෙයි. කුල ගර්වයෙන් දැපුණු නන්දාට මෙහි දී පරදින්නට සිදු වුව ද පියල්ට පසු බසින්නට සිදු වන්නේ තමන් දිනූ රුපියල නන්දාට ආපසු දෙන්නට යාමෙනි. එසේවතුදු නන්දා විසින් වීසි කරනු ලැබූ රුපියල පියල් අත මිට මොලවා තද කර ගන්නා අතර නවකතාව අවසන් වන විට පියල් නන්දා ඇතුළු මුළු මහ ගෙදර ම සිය ධනබලයෙන් මිටට ගනියි.
නන්දා මුලින් විවාහ වන්නේ දිලිඳු වුව ද වංශවත් වූ ජිනදාස සමඟ ය. ඔහු සිංහලේ වෙළෙදාමට ගොස් මැලේරියාව සෑදී මිය යයි. ඔහුට මේ ධනවාදය හමුවේ නැඟී සිටින්නට නොහැකි වෙයි.
චාලක රණසූරිය තම සකේත නිර්මාණ කර ගන්නේ මේ ඔස්සේ ය. පියල් මධ්‍යම පන්තියෙන් ම නැඟී එන ධනවාදයේ නියාමකයා ය. ජිනදාස මේ ධනවාදයට එදිරි ව නැඟිටින්නට ගොස් වැළලී ගිය සමාජවාදයේ සංකේතයයි. එහෙත් මෙහි දී නාට්‍ය රචකයා කථාව එසේ අවසන් වන්නට නොදී නැවත වසර සියයකට පමණ පසු කොළඹ ගෝල්ෆේස් පිටිය හා චීන වරායක් අතර ඉදි වී ඇති අඩි එක්දහස් එකසියයක් උස ගොඩනැඟිල්ලක් මතින් ජිනදාස මතු කර ගනී.
මෙහි සන්දර්භය ගොඩනැඟෙන්නේ ද ගම්පෙරළිය නවකතාවේ ම සිද්ධියක් ආශ්‍රය කොට ගෙන ය. ගොන් බානක් යොදන ලද ගැලකින් මාතර හාමිනේ ද අනුලා ද පියල්ගේ මව ද සමඟ බලදාසත් විජේදාසත් පහුව දා එළි වන්නට පෙර නාමල් පූජා කරනු වස් පරගොඩ විහාරය බලා පිටත්ව යයි. නාට්‍ය රචකයා ස්වකීය අරමුණ වෙත නාට්‍යය නියාමනය කිරීමට  මැදිහත් වනුයේ මෙහි දී ය. ඒ ඔවුන් ගෙන යන වයර්ලසයෙන් ඇසුණු ප්‍රවෘත්තියක් ඇසුරෙන් ගොඩනඟන වියවුලකිනි.

අද උදෑසන කොළඹ චීන වරාය අසළ ඇති අඩි 1100ක් උස ගොඩනැඟිල්ලක් මත නැඟී අයෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත. ඔහුට මේ ක්‍රෑර සමාජයෙන් අසාධාරණයක් සිදු වූ බවත්, පැය විසි හතරක් යාමට මත්තෙන් තමාට සාධාරණයක් ඉටු නොවුණහොත් කුලුණෙන් බිමට පනින බවටත් අනතුරු අඟවා ඇත.

මේ “මාරාන්තික උපවාසය” යන්න “මාරක ළිඳක සර්කස් එකක්” යැයි වරදවා වටහා ගැනීමෙන් මේ වන්දනා නඩය ඒ සර්කස් එක බැලීම සඳහා කොළඹ යාමට තීරණය කරයි. නාට්‍ය රචකයා සිය සාංකේතික මාතෘකාව යොදා ගෙන ඇත්තේ ද මෙකී අවස්ථාව ආමුඛ කොට ගෙන ය. මාතර හාමිනේ තම දැන්ම්වත්කම පෙන්වීම සඳහා එය ගර්වයෙන් විස්තර කරන්නී මෙසේ:

යමුකො... යමුකො... මං ඕවා බලල තියෙනවා. දෙතුන් සීයක් ටිකට් අරන් උඩට වෙලා බලන් ඉන්නවා. එක මිනිහෙක් බයිසිකලයක් පැදගෙන උඩට එන්න වලි කනවා.”
රචකයා සමස්ත නාට්‍යයේ ම ඊප්සිතය මෙම මාතෘකාවෙහිලා කැටි කොට දක්වා ඇත.
මාරක ළිඳත් භයානකයි තමා. වළෙන් ගොඩ එන්න දඟලන දැඟලිල්ලෙදි වැටුණොත් වැටුණා ම තමා.”

ධනවාදී සමාජ අර්ථ ක්‍රමයෙන් පරිපීඩිත මධ්‍යම පංතික මිනිසුන් සමාජවාදයේ පිහිට පතමින් ධනවාදී අර්ථ ක්‍රමයෙන් ම යළි ගොඩනැඟීමට උත්සුක වීම ඔහු මේ මාරක ළිඳේ සවාරියක් යන්නෙන් අදහස් කරයි. “වළට වැටුණ එකා ගොඩ එන්න ඕනෙත් ඒ වළ කටින් ම” යැයි ගැමියන් කීවේ මෙයයි. අද්‍යතන සමාජයේ සියල්ලෝ ම ඒ සවාරියේ නිරත වන්නෝ ය. එහෙත් එහි අවසානය වන්නේ පිවිතුරු සමාජවාදය ද?

අනුලා - මේක මාරක ළිඳක් නෙවෙයි මයෙහිතේ. මාරාන්තික උපවාසයක් ද මොකක් ද කියලනේ කිව්වේ.”
පියල්ගේ මව - ඔය එක එක නානාප්පරකාර නං කිව්වට එක ම තමයි වෙන්නේ. මිනිස්සු අද්දන්න කාලෙන් කාලෙට නං වෙනස් කරන්නේ.”

යට කී උපවාසය කරන්නේ ජිනදාස නමැත්තෙකි. ඔහු නන්දා විවාහ වී සිටි ජිනදාසගේ පුත්‍රයාගේ පුත්‍රයා වෙයි. නාට්‍ය රචකයාගේ පරිකල්පනයට අනුව නන්දා සහ ජිනදාසගේ දරුවා මිය ගොස් නැත. එහෙත් නන්දා කල්පනා කරනුයේ මේ ඇය විවාපත් වී සිටි ජිනදාස බවයි. නාට්‍යයෙහි ගැටුම උද්ගත වනුයේ නාට්‍යකරුවා විසින් ප්‍රතිනිර්මාණය කොට ඇති මෙකී කාලතරණයෙහි විසංවාදයෙනි.
ගම්පෙරළිය නවකතාවෙන් පැමිණි වන්දනා නඩය මේ උපවාසය නැතහොත් මාරක ළිඳ බලන්නට කොළඹ පැමිණෙන විට ඒ ස්ථානය වට කර මාධ්‍යකරුවෝ ඔවුන්ගේ නාලිකාවලට මෙම සිදුවීම අයෝජන මාර්ගයක් කර ගනිමින් සිටිති. නාට්‍යකරුවා නූතන ධනවාදයේ බිහිසුණු ස්වරූපය ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන එන්නේ මෙලෙසිනි. ජිනදාස මීට එදිරි ව මාරාන්තික උපවාසයක් කරමින් සිටියි. ඒ අතර නිවේදිකාවක වේදිකාවට පැමිණෙන්නී ය.

ගලා යන්න දෙන්න..
අවුල් තැවුල් අමතක කර
බදුලු ඔය වගේ ජීවිතේට
ගලායන්න දෙන්න
ගලායන්න දෙන්න
වැටුණොත් නැගිටින්න
බොන්න දුංහිඳ බෙලිමල් කෝලා”

රසික කොටුදුරගේ මෙහි ලා ඉදිරිපත් කරන විවරණය වැදගත් ය. එනම්, ප්‍රේක්ෂකයා ප්‍රමෝදයට පත් කර අවසානයේ එය වෙළෙඳ දැන්වීමක් බව හඟවමින් ‘දුංහිද බෙලිමල් කෝලා’ නමැති ශක්තිජනක පානය පිළිබඳ හඳුන්වාදීමක් සිදු කරයි. චාලක මේ අනතුරු අගවමින් සිටින්නේ අනාගතයේ පැමිණිය හැකි හරිත ධනවාදය පිළිබඳව ය...
මේ බෙලිමල් පැමිණෙන්නේ ජත්‍යන්තර සමාගම් හරහා... ය... එදාවේල සරි කර ගන්නට කිසියම් මුදලක් සොයා ගත් සාම්ප්‍රදායයික ගැමියාගේ ආර්ථීකය ගෝලීය ධනවාදය විසින් ගිලගෙන ඇත... ඒ ගෝලීය හරිත ධනවාදයේ ස්වරූපය යි.”
මේ අකාරයට ගෝලීයකරණයේ සියලු ලක්ෂණ හඳුනා ගැනීමට අවැසි සන්දර්භයක් සිය කෘතිය තුළ නිර්මාණය කරනු වස් නාට්‍ය රචකයා සමත් වී ඇත.

Consumerism (පරභෝජනවාදය හෙවත් සියල්ලන් පාරිභෝගිකයන් බවට පත් වීම)
Commercialization (ලාභ ඉපයීම මුඛ්‍ය පරමාර්ථය කොට ගත් වාණිජකරණය)
Commodification (වික්‍රියවස්තුකරණය හෙවත් ආදරය දයාව කරුණාවේ පටන් සියල්ල අලෙවි කළ හැකි වස්තූන් බවට පත් වීම)
Cultural Degradation by Media (ජන මාධ්‍ය මඟින් සිදු කැරෙන සංස්කෘතික පරිහානිය)

මුල් ලක්ෂණ දෙක හා අවසාන ලක්ෂණය පිළිබඳ යට කී තතු මතින් දළ අදහසක් ගත හැකි ය. යුගාන්තයකට දීත් අවසන් නොවූ ආදරයක කථාව අනතුරු ව මේ ගෝලීයකරණයේ ඛේදනීය ම තත්ත්වය වන තුන්වෙනි කරුණ ගෙන හැර පායි.

ජිනදාස - මම ආදරය කරන්න ගත්තට පස්සෙ මට හිතුණෙ වෙන මුකුත් ම ඕනෙ නෑ මට ඒ කෙල්ල හිටියොත් ඇති කියලා. කෙල්ලත් හිතුවෙ එහෙමයි. ඒත් පියල් කියන එකා ඒ හැම දේ ම කනපිට හැරෙව්වා. මිනිහ තමයි ලස්සන ම හෑන්ඞ් ෆොන් එකක් පාවිච්චි කරේ. මිනිහ තමයි ලස්සන ම ගේ හැදුවේ. මිනිහ තමයි ලස්සන ම වාහනේ ගත්තේ.
....
ආදරේ දිනා ගත්තත් නඩත්තු කරන්න පුස්සයිකලයක්වත් නැතුව බෑ කියන එක මට හොඳට ම තේරුණා....

මේ ආකාරයට නාට්‍ය අවසාන භාගය දිවෙන්නේ ජිනදාස විසින් මේ පවත්නා සමාජ ක්‍රමය පිළිබඳ කැරෙන විවරණවලිනි. කථා නායකයා ඔහු ය. ධනවාදයට එරෙහි වීමේ පරමාදර්ශය ඔහු ය. ඔහු සිය අරමුණ වෙනුවෙන් ගම්භීර වාදයක නිරත වෙයි. එහෙත් යට කී ජනමාධ්‍යයේ ව්‍යාජයෙන් පැමිණෙන ධනවාදය කථා නායකයාගේ අභ්‍යන්තරයෙන් විසංවාදයක් ගොඩනඟනු වස් ක්‍රියාත්මක වෙයි. කථා නායකාගේ දුර්වලතාව වූ දරිද්‍රතාව මතු නොව ප්‍රධානත්වය දැරීමේ මමායනයෙන් අවස්ථෝචිත ප්‍රයෝජනය ගැනීමට මාධ්‍ය පිරිස උත්සුක වෙති. නාට්‍ය රචකයා මෙම ගැටුම නිර්මාණය කර ඇත්තේ ජිනදාස හා පියල් යන සංකේත විෂයෙහි කැරෙන ප්‍රකාශන හා ගම්පෙරළියෙහි පිරිස එම සංකේතාර්ථයන් වටහා ගැනීමෙන් තොර ව ඇති වන ව්‍යාකූල තත්ත්වයක් මත ය.
නාට්‍යාවසානය වෙත් ම මෙම මතුපිට ආරවුල නිරවුල් වී සියල්ලෝ ම ඒකමතික ව ජිනදාසගේ අදහස් සමඟ එකතු වී පියල් හෙවත් නූතන ධනවාදයට විරුද්ධ ව හඬ නඟන්නට පෙළඹෙති. ගම්පෙරළියට අනුව නන්දා තම මතකයන් ඇසුරෙන් සිදු කරන උපකථාව, තත්අවස්ථාව සමවලෝකනය කරයි. සහෘදයා ආතතියකට පත් වනුයේ මෙහි දී ය.

නන්දා - ජිනදාස මැරුණේ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ නෙවෙයි. වැස්ස දවසක මහගෙදර වහලෙ හිල් වෙලා ගේ ඇතුළට වතුර වැටෙන කොට හැලි වලං ගෙනත් තියලා අපි වතුර එකතු කරා. අන්න එදා තමයි ජිනදාස මැරුණේ.

මේ ආකාරයට නාට්‍යයේ උච්ඡත ම අවස්ථාවට සහෘදයා පැමිණේ. පියල් පරාජය වී ජිනදාසගේ විප්ලවය ජය ගනී ද? නැතහොත් ජිනදාස කුළුනෙන් පැන මියැදේවි ද? ජිනදාස චීනයෙන් පැමිණෙන ගුවන් යානයකට නැඟී සියල්ලන්ට ම අත වනා යන්නට යයි. නාට්‍යයේ අවසාන සිදු වීම් පෙළ මෙසේ:

ජිනදාස - ආයුබෝවන් නෝනාවරුනි, මහත්තුරුනි, ජීවිතේ අතෑරලා ගිනිකාෂ්ඨක අවුවේ පිච්චි පිච්චි ඉන්නකොට මේ ගුවන් යානයේ ඉන්න මහත්තයා ආවා මාව මුණගැහෙන්න. මම කියන්න ලැජ්ජා නෑ. මං මේ පළවෙනි වතාවට තමයි ගුවන්යානයකට ගොඩ උණේ. ඒ විතරක් නෙවෙයි මැරෙන්ඩ ගිය මා තුළ තිබුණ අසීමිත හැකියාවන් මේ අය තේරුම් ගත්තා! නෝනාවරුනි, මහත්තුරුනි, වැඩි ම වේලාවක් නිරාහාර ව කුළුනක් උඩ සිටිය හැකි ගිනස් වාර්තාවට මේ අය මාව සූදානම් කරනවා. ඒ විතරක් නෙවෙයි චීන ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමටත් මාව තෝරා ගන්නවා කියලා මෙ මහත්තයා කිව්වා! චීනෙ ඉපදුන චීනෙකුටවත් චීන ජාතික ජිම්නාස්ටික් කන්ඩායමට ලේසියෙන් යන්ඩ බෑ මේක මට හීනයක් වගේ මගෙ හීනෙට ලංවෙන්ඩ උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතිය.
(ගුවන්යානයේ හඬ ක්‍රමයෙන් අඩුවෙයි)

මාතර හාමිනේ - කවුද ඒ ජිනදාස එක්කං යන්න ආව කොල්ලා.
පියල්ගේ මව - ඒ පියල්
නන්දා - ඕව්, ඒ පියල්
පියල්ගේ මව - කවුරුවත් සැකයක් තියාගන්ඩ එපා. මම පියල්ගේ අම්මා. ඒ ගියේ පියල්.
මාතර හාමිනේ - ඇයි මාරක ළිඳ බලන්ට ඉන්ට නොකිව්වෙ.
පියල්ගේ මව - මේක මාරක ළිඳක් නෙවෙයි අක්කේ.
බලදාස - මේක මාරක ළිඳක් තමයි හාමිනේ. වෙනසකට තියෙන්නෙ බලාගෙන ඉන්න උන් ඉන්නේ ළිඳ ඇතුළෙ. පදින එකා ඉන්නෙ උඩ.

අවසානයේ සියල්ලන්ට ම ඒත්තු යන පරිදි මේ ජිනදාස ද ගම්පෙරළියේ ජිනදාස මෙන් ම පියල් ඉදිරියේ පසු බැසසේ ය. ගම්පෙරළියේ ජිනදාස නැතහොත් මේ ජිනදාසගේ පියාගේ පියා ධනවාදයට මුහුණ දී ගත නොහී මිය ගිය ද මේ ජිනදාස පියල්ගේ පැවැත්ම තහවුරු කරන ගොදුරක් බවට අවසානයේ පත් වෙයි. මේ අයුරින් නූතන ධනවාදයේ මාක්සවාදී ස්වරූපය ද නැතහොත් වෙනයම් ව්‍යාජයක් ද යන්න පිළිබඳ අවසානයේ සහෘදයා තුළ ද කුකුසක් ඇති කර නාට්‍ය නිමා වන්නේ ය. බලදාස කීවේ එයයි. පදින එකා සිටියේ උඩ ය. බලන උන් සිටියේ ළිඳ ඇතුළේ ය. පියල්ගේ මව කීවේ ද එයයි. “ඔය එක එක නානාප්පරකාර නං කිව්වට එක ම තමයි වෙන්නේ. මිනිස්සු අද්දන්න කාලෙන් කාලෙට නං වෙනස් කරන්නේ.” ධනවාදය අපුල වුණු සමාජයකට සමාජවාදී පිරුවටය දවටා යළි දායාද වී ඇත්තේ ධනවාදය ම ය. මෙය නූතන ලංකාවේ වාමංශික දේශපාලනයේ ද ඛේදනීය තත්ත්වයයි. ඔවුන් සේවය කරනුයේ දක්ෂිණාංශික දේශපාලන කඳවුර පොෂණය කිරීමට ම ය.
මාර්ටින් වික්‍රමසිංහ විසින් වරක් පියල් ඉදිරියේ දී ජිනදාස මරුමුවට පත් කරනු ලැබුවේ ය. මෙහි දී චාලක රණසූරිය විසින් සිදු කරනු ලැබූයේ ද ඊට නොදෙවෙනි දෙයකි. එහි දී ජිනදාස ජීවත් වුව ද, ගම්පෙරළියේ දී ඔහු මිය ගිය ද අවසාන ප්‍රතිඵලයේ වෙනසක් නැත. එහෙත් චාලක රණසූරියගේ මෙම සන්දර්භයෙන් නිරූපිත බරපතල ඛේදය වනුයේ ධනවාදයේ පැවැත්ම වෙනුවෙන් සමාජවාදී කඳවුරෙහි පෙනී සිටීමයි. ගම්පෙරළියේ දී ජිනදාසගේ මරණය ඊට වැඩියෙන් ගෞරවාන්විත ය. “අප මරා දැමුව ද, අප නඟන හඬ සදා නොමියෙනු ඇත” යැයි ඊනියා අපරාධ යුක්ති විමර්ශන කොමිෂන් සභාව හමුවේ රෝහණ වීජේවීර සහෝදරයා තැබූ උදාර අපේක්ෂාවට අද සිදු ව ඇත්තේ ද ගම්පෙරළියේ ජිනදාසට, මාරක ළිඳේ දී අත් වූ ඉරණම ම ය.
එහෙත් මාරක ළිඳේ සවාරිය බලන්නට ගිය මහගෙදර උදවිය මෙන් අද්‍යතන දේශපාලනයේ සමාජවාදී කඳවුර මෙය පිළිගන්නට සූදානමක් නැත. කියන්නට ඇත්තේ කාල් මාක්ස් කියූ දේ ම ය. “වහල් බවින් මිදීමට නම් පළමු ව තමා වහෙලකු බව අවබෝධ කරගත යුතු ය.” යුගාන්තයක දීත් අවසන් නොවුණු, සිත් සලිත කරවන ආදරයක කතාවයි, මේ.
*                                  *                                  *
2016 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳ ම සහය නිළිය, හොඳ ම පසුතල නිර්මාණය හා හොඳ ම තිර රචනය සඳහා සම්මාන දිනා ගත් මෙම නාට්‍යය ජගත් චමිල, උමයංගනා වික්‍රමසිංහ, මල්කාන්ති ජයසිංහ, වසන්ති රන්වල, ලංකා බණ්ඩාරණායක, මධුෂාන් හත්ලහවත, තෙරුනි ආශන්ශා, රොෂාන් ද සිල්වා හා ශාලික ගුවන යනාදී රංගන ශල්පීන්ගේ ප්‍රතිභාවෙන් සජීවී වෙයි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතා මුල් කොට ගෙන නිර්මාණය වී ඇති මෙම නාට්‍යය නවකතාවක් ආශ්‍රයෙන් ප්‍රතිනිර්මිත ප්‍රථම වේදිකා නාට්‍ය ලෙසින් ද හැඳින්විය හැකි ය. 

Thursday, May 14, 2020

Music beyond the Song - Sagara Suresh Wijesinghe


Once maestro Premasiri Kemadasa directed our attention to a dialogue that took place between two artists after the Russian revolution in 1917. One of them was the great musician of that day Sergei Prokofiev and the other individual was Maxim Gorky, the outstanding man of letters.

Prokofiev asked Gorky:
“At this stage, what should be our mission as musicians?”
“We expect a tremendous service from you,” Gorky replied.
“Could you explain what is it?”
Gorky responded again.
“Construct wisdom in Workers and Peasants. Only musicians can instill it in them.”


What is the key point we can understand from this dialogue? Musicians must have a broad understanding of what they are doing and what the music is. Music is not only “songs”. The song is just one piece of music. Nevertheless the fact that Sri Lankan music is still embedded in the song is not a good way to fulfill the underlying job. The song alone cannot achieve the great cognitive process emphasized by Gorky.
Dr. Nuwan Nayanajith Kumara points out six musicians who played an outstanding role in enriching musical values of their time in Sri Lanka.

(1)   Ananda Samarakoon
(2)   Sunil Santha
(3)   W. D. Amaradewa
(4)   Premasiri Kemadasa
(5)   Sarath Dasanayake
(6)   Rohana Weerasinge

Dr. Rohana Weerasinge can be regarded as the successor of the first five musicians. And also Darshana Ruwan Dissanayake, Aruna Gunawardhena, Nalaka Anjana Kamara, Darshana Wickemathunga, and Kaveen Roopasinghe are some of the most prominent musicians who can be identified in this twenty-first century. Undoubtedly, they are talented musicians who are striving to develop the field of Sinhalese classical pop songs. Nevertheless none of them seem to have grasped the musical theory and practice of Kemadasa, except Darshana Ruwan Dissanayake. And also all of them can be considered as qualitative type musicians. 

Let's here to Maestro Kemadasa.



According to the critic, Lal Ananda Abedeera, there were two great musicians who can be considered as dynamic type musicians in Sri Lanka. One musician was Dr. Premasiri Kemadasa and the other musician was H. M. Jayawardena. Lal Ananda Abedeera introduces Sagara Suresh Wijesinghe also as the third great dynamic type musician in Sri Lanka. (Watch the following video) As I think, he is the outstanding musician who is displaying a great interest in bringing the musical values of maestro Premasiri Kemadasa, today.


Not only as a musician but also as a composer, Sagara Wijesinghe has a broad understanding of what he is doing and what the music is. When studying his compositions, it becomes clear.  Yet I wrote this note not to describe those musical values, but invite you to a self-evaluation. Because this is the first time we can enjoy music compositions after maestro Kemadasa. (Enjoy some music clips by Sagara, visiting following links)

In 2002, when Premasiri Kemadasa was awarded an honorary doctorate from the University of Ruhuna, he concluded his oration by saying:
“It is high time that we bid farewell to our under-developed music education. What iss urgently needed is bringing into being a generation of teachers who are adept in musicology. Although the voice we raised the best of our ability has vanished into thin air, I am sure, once again it will rise with the power, energy, and speed. I invite this distinguished assembly to help to perform this formidable task and extend its valuable assistance. The honour conferred upon me today will be totally meaningful when that happens.”
I think Sagara Suresh Wijesinghe has the strength to rise the voice of Kemadasa that vanished into thin air, with the power, energy, and speed as Maestro Kemadasa wished. Read following books too. Varily, music is the Tone of Thoughts that can be addressed to human heart.