Wednesday, June 3, 2020

වල ද? වළ ද?



පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයට "වළ" යන අන්වර්ථ නාමය පටබැඳී ඇත්තේ එහි කුහරාකාර පිහිටීම නිසා ය.

පොළොවෙහි හෑරුණු තැන, කුහරය යන අර්ථ සම්පාදනය සඳහා සංස්කෘත භාෂාවෙහි "ආවාට" යන වදන ව්‍යවහාර වේ. [अवट (avaTa): a hole, vacuity in the ground.] එසේ ම පාලි භාෂාවෙහි ද "ආවාට/වාට" යන වදන් ව්‍යවහාර වේ.

මෙකී අර්ථ සම්පාදනයෙහිලා සිංහල භාෂාවෙහි ව්‍යවහාර වන්නේ "වළ" යන තත්භව වදනයි. එනම්, එය උක්ත මාතෘ භාෂාවන්ගෙන් සිංහලයට බිඳුණු වදනකි. "වළ" යන්න සිංහලයට බිඳී ඇත්තේ "වාට" යන තත්සම රූපයෙනි.

මාතෘ භාෂාවන්හි එන "ට", "ඨ" සහ "ඪ" කාරයන් සිංහලයට බිඳෙනුයේ මූර්ධජ "ළ" කාරය වශයෙනි. "වළ" යන වදනෙහි "ළ" මූර්ධජ වන්නේ එබැවිනි.

වාට > වළ

පහත නිදසුන් ද විමසන්න.

චක්‍රාවාට > සක්වළ
දාඨා > දළ
සාටක > සළු
නාටක > නළු
පටිපාටි > පිළිවෙළ
දෘඪ > දළ
පාටලී > පළොල්

"වල" යනු කැලයයි. ("වල්" ප්‍රකෘතියයි.) වලය, වළල්ල යන අර්ථයන් ද ඊට ඇත.

යම් හෙයකින් සරච්චන්ද්‍ර රංග පීඨයට "වළ" යැයි ව්‍යවහාර වනුයේ එහි වලයාකාර නොහොත් වළලු ආකාර පිහිටීම නිසා නම්, ඒ අනුව ද "වළ" විය යුතු විනා "වල" වන්නේ නැත. චතුර සම්පත් ගණේ‍පොළ සුරුවන්ගේ පහත සටහන විමසන්න.

පෙළ, සකු "වන" යනු හෙළයෙහි "වල්" වේ. මෙහි වූයේ දතකුරු "න්" කාරයට දතකුරු මැ "ල්" යෙදීම යි.

දෙහිවල
වලි කුකුළු
වල් දෙල් වැනි තැනැ එනුයේ මේ වනරුත් වල් යැ.

පෙළ, සකු වලය යනු හෙළයේ වළා/වළ වේ.
පෙළ, සකු "ල්" යනු බොහෝ විට හෙළ බසේ ද "ල්" ලෙස මැ වූව ද ඇතැම් විට "ළ්" වේ.

උදා: ආවලි = වැළ

වළලු යන තන්හි වනුයේ වලයාර්ථ "වළ" සමඟ ස්වාර්ථ "ලු" පස යි.

වළ-ලු = වළලු

මෙනයින්, පේරාදෙණි විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨය "වළ" මිස, "වල" නොවේ. එසේ භාවිත නොවුණහොත් "වල සතිය" යනු "කැලෑ සතිය" ද, "වලේ සිට ලියමි" යනු "කැලේ සිට ලියමි" යනු ද වෙයි.

No comments:

Post a Comment