දිසාපාමොක් ගුරුකුලයේ සංගීතාචාර්යවරයෙකු සේ ඉඳුරා
ම හැඳින්විය හැකි නූතන සමාජය හෙබ වූ යම් ගුරුවරයෙකු වී නම් ඔහු නම් කරන්නැයි කියූ
කල්හි කිසිදු පැකිලීමකින් තොර ව මා නම් කරන එක් සංගීතවේදියෙක් විය. හේ සුනිල්
දයානන්ද කෝනාර නම් වූ අපූරු වාග්ගේයකාරයා ය.
-
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
දඹදෙණිය, මුතුගල නම් ගම් පියසේ උපත ලැබ මුතුගල කනිෂ්ඨ
විද්‍යාලයෙන්, දඹදෙණිය මහා විද්‍යාලයෙන් හා නාරම්මල
මයුරපාද ජාතික පාසලෙන් ද අධ්‍යාපනය ලැබූ ඔහු 1969 වසරේ මැද භාගයේ දී පමණ රජයේ සංගීත විද්‍යාලයට
පිවිසි පළමු වසර සිසුන් වූ - අද වන විට ප්‍රවීණ සංගීතවේදීන් වන - රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, ලෙස්ලි විජේවික්‍රම ආදී අය අතරේ සිටි
එක් නිහඬ පුද්ගලයකි. ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයෙකු හා සංගීතඥයෙකු වශයෙන් සහෘද රසික
ලෝකයේ චිර ප්‍රසිද්ධියට පත් කලාකරුවෙකු හා සොඳුරු ගුරුවරයෙකු ව සිට මීට දෙවසරකට
ඉහත දී 2016 දෙසැම්බර් මස 07 වන දා සදහට දැයෙන් සමු ගත් ඔහුගේ
සුවිශේෂී සංගීත භාවිතාව මෙරට ගීත ක්ෂේත්‍රයෙහි වැදගත් සලකුණකි.
දේශීය ළමා ගී සාහිත්‍යයට නව මුහුණුවරක්
ලබා දෙමින් ඔහු විසින් ඉටු කළ පුරෝගාමී මෙහෙවර මෙහි දී අවශ්‍යයෙන් සිහිපත් කළ යුතු
ය. නිදසුන් ලෙස දක්වන්නේ වී නම් විශාරද හර්ෂණ දිසානායක ගායනා කළ රත්නපුරෙන් ගෙන ආ
සමන් මල්..., දහම් පාසලේ පොඩි හාමුදුරුවො..., දිය බෙරලිය දලු... ආදී සුනිල් දයානන්ද
කෝනාරයන් ම පද රචනා කරමින් සංගීතවත් කළ ගීත පෙරමුණේ සඳහන් කළ හැකි ය. වෘත්තියෙන්
ගුරුවරයෙකු වීමත්, හෘදය සංවාදී කලාකරුවෙකු වීමත් ඔහුගේ
ළමා සාහිත්‍යකරණයන්හි සාර්ථකත්වයට පිටිවහල් වූ බව නිසැක ය.
“සුනිල උත්පල: සුනිල් දයානන්ද කෝනාර සුභාවිත ගීත සම්ප්‍රදානය” නමැති කෘතිය වූකලි එතුමාගේ සියලු ගීත නිර්මාණ සහ ජීවන තොරතුරුත්, සහෘද මතකාවර්ජන සහ විචාර වීමංසාත් සංගෘහිත එක ම කෘතියයි. ප්‍රවීණ ගේයපද රචක, මාධ්‍යවේදී සුගත් සෝමවීර සුලවතාණන්ට එහි මුල් ම ගෞරවය හිමි විය යුතු ය. මෙහි අරමුණ වන්නේ යූටියුබයේ නෙතැන විසිරී ඇති එතුමාගේ ගීත නිර්මාණ රසවිඳිනු වස් සහෘදයින්ට අවකාශ සැලසීමයි. පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න. යූටියුබයේ සොයාගත නොහැකි තවත් බොහෝ නිර්මාණ පවතින බව සැලැකුව මැනැවි.
කීර්ති ක්ලේශයන්ගෙන් තොර බෝධිසත්ව ගුණෝපේත අනුපමේය මනුෂ්‍යයෙකු වූ සුනිල් දයානන්ද කෝනාරයන්ට මෙය උපකාරයක් ම වේ වා!
____________________________
ගායනා
කළ ගීත
අතුරු මිතුරු දඹදිව තුරු - බන්දුල විජේවීර
අවාරේ මී මොර මල් - උදය පුෂ්පකුමාර විජයසුන්දර (සංගීතය: කේ.පී. ගුණසේන)
ගමට කලින් හිරු - තරුණාරත්න දිවුල්ගනේ
ගිනි මද්දමනේ - රුක්මණී තිලකරත්න
දිය බෙරලිය දලු - හර්ෂණ දිසානායක
පිනි පොදක් නැතුව - කරුණාරත්න දිවුල්ගනේ
පෝයට ඇවිළෙන හඳක් වගේ - කරුණාරත්න දිවුල්ගනේ
මහ කනදරා වැව ඉස්මත්තේ - සනත් දේවප්‍රිය
මහ වැස්සක් බිමට හලා - සුනිල් එදිරිසිංහ
රත්නපුරෙන් ගෙන ආ සමන් මල් - හර්ෂණ දිසානායක
සමනළ පාලම උඩ - ක්‍රිෂාන්ත එරන්දක
සුදු පාට මල් පිපුණ - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතවත් කළ ගීත
අලුත් වත්සුනු සවඳකින් - කිත්සිරි ජයසේකර
ඉරට උඩින් සින්දු කියන - සුනිල් එදිරිසිංහ
කතා කරන ඇසි පිය යට - තිලිණි අනුරාධා කන්දෙගෙදර
කිසා ගෝතමී නැන්දණියේ - තීර්ථ ඉඳුුවර
කිසාගෝතමී නැන්දණියේ - යශෝධා ප්‍රියදර්ශනී
කුසුම ඔබ - ඩබ්.ඩී. ආරියසිංහ
ගයා මංගල පිරිත - හර්ෂණ දිසානායක
ගුරු ගෙදර පිපෙන මල් - කරුණාරත්න විජේවර්ධන සහ කේතකී සුරවීර
තාත්තා වගේ නුඹ ගැන - හර්ෂණ දිසානායක
පාන්දරින් ඉස්කෝලෙට - හර්ෂණ දිසානායක
පැන්සොන් දිනය - සුනිල් එදිරිසිංහ
පොකුරු පොකුරු මල් - ශෂින්ත ප්‍රබෝද් අමරසිංහ
මට කියන්න කවි - තිලිණි අනුරාධා කන්දෙගෙදර
මන්නාරම් බස් එක නෑ - කරුණාරත්න දිවුල්ගනේ
මල් පෙති පවා (මවුස් චිත්‍රපටය) - යසන්ත සමරවීර
රෑ හෙවනැලි - ඩබ්.ඩී.ආරියසිංහ
වන්නි වන හිස - කරුණාරත්න දිවුල්ගනේ
වහින්නට හැකි නම් - නන්දා මාලනී
සංහිඳේ දෙවියන්ගෙ පාමුල - සමන් ලෙනින්
සිනා මල් පොකුරු - මධුෂිකා ප්‍රියදර්ශනී
සුසුම් සුළඟට - හර්ෂණ දිසානායක සහ ලක්ෂණා ලක්මිණි
ළමා ගී සංයුක්ත තැටි
ගංගාවක් වෙන්නම් (2007)
ගංසූරිය මල් (2015)
තාරකා (2016)
මේ තැටිවල ඇති ගීත කිහිපයක් හැරුණු විට සෙසු ගීත යූටියුබයේ සොයා ගැනීමට නැත. ඒ නිසා මේ ඉදිරිපත් කිරීම ඉතාමත් අසම්පූර්ණ ඉදිරිපත් කිරීමකි. තව ද සිය ගණනක් ගීත සුනිල් දයානන්ද කෝනාරයන්ගේ සංගීතයෙන් හැඩ වී ඇති බව කිව යුතු ය.
No comments:
Post a Comment