Thursday, February 3, 2022

මධුර මෝහන් වීණය - මධුර ස්වර සුරසින් අනූන ය

ලාංකේය නූතන සංගීත ඉතිහාසය විමර්ශනය කිරීමේ දී බොහෝ ගීත-සංගීත පර්යේෂණ කාර්යයන් හඳුනාගත හැකි නමුත් පර්යේෂණාත්මක වාද්‍යවේදයක සලකුණු ඉතා දුලබ ය. ශාස්ත්‍රපති, සංගීත් නිපුන් මධුර ගුණවර්ධනගේ “හින්දුස්තානි වූ හවායින් ගිටාරය” (2019) නමැති පර්යේෂණ කෘතියත්, ශෛල්පික නෛපුණ්‍යයත්, පර්යේෂණාත්මක වාද්‍ය වෛදික ප්‍රවේශයත් ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් වශයෙන් හුවා දැක්විය හැක්කේ එනයිනි. “මෝහන් වීණා” විෂයක “ශාස්ත්‍රවේදී” උපාධියක් (ලක්නව්/2016) හිමි ප්‍රථම ලාංකේය විද්‍යාර්ථියා වූ මධුර ගුණවර්ධන තත්විෂයෙහි ම “සංගීත් නිපුන්” සහතිකය (භාත්ඛණ්ඩෙ/2018) හිමි එක ම ලාංකේය වාද්‍යවේදියා ද වෙයි.

මෝහන් වීණාව” වූකලි අපරදිග වාද්‍ය භාණ්ඩයක් වූ “හවායින් ගිටාරය” හින්දුස්තානීකරණය වීමකි. හවායින් ගිටාරයේ සම්භවය පිළිබඳ ලිඛිත ඓතිහාසික සාධක ක්‍රි.ව.1800 දක්වා පමණ දිව යන අතර 1889 දී ය, එය ප්‍රථම වරට පරිසමාප්ත ව නිමැවී ඇත්තේ. මධුර ගුණවර්ධන විසින් “හින්දුස්තානි වූ හවායින් ගිටාරය” නමැති කෘතියේ දී මෙම සංගීත භාණ්ඩයෙහි ක්‍රම විකාශනය සහ එහිලා පුරෝගාමී නිර්මාණකරුවන් පිළිබඳ පැහැදිලි වර්ණ රූප සටහන් ද සහිත ව විග්‍රහ කරනු ලැබ ඇත.

එකී ප්‍රකාර ව හවායින් ගිටාරයෙහි භාරතීය සම්ප්‍රාප්තිය සිදු වනුයේ 1940 දී ය. හවායි දූපත්හි සිටි දක්ෂ හවායින් ගිටාර් වාදකයෙකු වූ ටාවු මෝගේ අහඹු ගොඩබෑම කරණ කොටගෙන ය, ඒ. මෙම වාද්‍ය භාණ්ඩය හින්දුස්තානී උරුවට අනුහුරු කරනු වස් පුරෝගාමී වූවෝ හෝමි අධිකාරි සහ ගෝපාල් සිං ය. අපරදිග බොක්ස් ගිටාරයේ ආකෘතියට අනුව ප්‍රථම ඉන්දීය “ස්ලයිඩ් ගිටාරය” නිර්මාණය වනුයේ ඒ අනුව ය; 1960 දී ය. ප්‍රථම වරට ස්ලයිඩ් ගිටාරය භාරතීය ශාස්ත්‍රීය සංගීතයට අනුබද්ධ කොටගෙන රාගධාරී වාදන ඉදිරිපත් කිරීමේ ගෞරවය පණ්ඩිත් බි්‍රජ් භූෂන් කබ්රාට හිමි වන අතර පණ්ඩිත් බරුන් කුමාර් පාල් ද මෙහි අභිවර්ධනයට පර්යේෂණාත්මක දායකත්වයක් සැපැයූවෙක් වෙයි. ස්ලයිඩ් ගිටාරය “මෝහන් වීණා” නමින් චිරප්‍රකට වූයේ එය පරිසමාප්ත හින්දුස්තානී වාද්‍යයක් වශයෙන් ගොඩනැඟූ සහ බොහෝ සංගීත නිර්මාණාත්මක ප්‍රයුංජන ද කළ පණ්ඩිත් විශ්ව මෝහන් බට් වෙත ගෞරව දැක්වීමක් වශයෙනි.

මධුර ගුණවර්ධන සහ විශ්ව මෝහන් බට්

පුරාතන භාරතීය සංගීත භාණ්ඩ වර්ගීකරණයට අනුව සකලවිධ තන්ත්‍රී වාද්‍යයන් වීණා ගණයට අයත් වූ අතර ක්‍රම විකාශනය කරණ කොටගෙන ඒවා වීණා, තාන්පුරා, සිතාර්, වයලීන් යනාදි විසින් ප්‍රභේද වී ඇති බව විශද වේ. පූරාතන භාරතීය මූලාශ්‍රය ප්‍රකාර ව වීණා වර්ග ද පන්සැත්තෑවකට නොඅඩු ප්‍රමාණයක් දැක්වේ. තන්ත්‍රී වාද්‍යයෝ වාදනය කරන ආකාරය අනුව ප්‍රධාන කාණ්ඩද්වයක් වෙති. ඒ නියගින් වයන හෙවත් “තත වාද්‍ය” සහ අළුවකින් වයන හෙවත් “විතත වාද්‍ය” වශයෙන් යැයි පණ්ඩිත විමල් අභයසුන්දර පෙන්වා දෙයි. ඒ අනුව “තත වාද්‍ය” ගණයට අයත් වන ස්ලයිඩ් ගිටාර කුලකයේ මෝහන් වීණාව ද හංස වීණා, චතුරංගි වීණා, ගාන්ධර්වි වීණා, ආනන්දි වීණා, ශංකර් වීණා යනාදි විසින් විවිධ විෂමතාවන්ට භාජනය වෙමින් ප්‍රවර්ධනය වූයේ, නූතන ම වීණා වර්ග වේ. එකී විකාශනයට සංගීත් නිපුන් මධුර ගුණවර්ධනගේ සම්ප්‍රවේශය ලාංකේය සංගීත ඉතිහාසයට මතු නොව ජගත් වාද්‍ය සංගීතයට ද සුවිශේෂී වැදගත්කමකින් සම්ප්‍රයුක්ත ය.

ඔහුගේ කේන්ද්‍රීය පර්යේෂණ ගැටලුව වශයෙන් හඳුනාගත හැක්කේ ඉන්දීය ස්ලයිඩ් ගිටාරයෙහි සම්භවයෙන් අඩසියවසක් පමණ ඉක්ම යතුදු ලාංකේය ගීත-සංගීත ක්ෂේත්‍රයේ නොහොත් ව්‍යාවහාරික සංගීත නිර්මාණකරණයෙහිලා එය ආබද්ධ නොවීමට මෙන් ම ජනප්‍රිය නොවීමට බලපෑ හේතු සාධක කවරේ ද? යන්නයි. (1) ස්ලයිඩ් ගිටාරයන්ගෙන් වාදනය වනුයේ හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය වීම, (2) ලංකාවේ මෝහන් වීණාව පිළිබඳ ප්‍රාමාණික හදාරුවෙකු නොමැති වීම, (3) මෝහන් වීණාවේ නාද ප්‍රභවයේ සහ විස්තාරණයේ දුර්වල බව සහ (4එබැවින් එම සියුම් නාද පටිගත කිරීම උගහට වීම ආදිය එහි දී ඔහු අනාවරණය කරන හේතු සාධක වෙයි. මෙකී තාක්ෂණික සහ භාවිතයේ ගැටලු සඳහා ඔහු ඉදිරිපත් කරන විසඳුම වනුයේ මෝහන් වීණා වාදනය පහසු කරවීම සහ නාදය නිසි ලෙස ශ්‍රවණය වීම පිණිස විද්‍යුත් උපාංග කිහිපයක් ඊට සංයෝජනය කිරීමයි. ඒ වනාහි මෝහන් වීණාව විෂයෙහි සිදු කළ ඉතා සාර්ථක පර්යේෂණාත්මක නව්‍යකරණයක් වෙයි. “හින්දුස්තානි වූ හවායින් ගිටාරය” කෘතියේ දී ඔහු එකී පියවර සවිස්තරාත්මක ව සහ සුපැහැදිලි ව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ලෝකයේ ප්‍රථම වරට සරල සංගීතයට ඖචිත්‍ය ප්‍රකාර ව මෝහන් වීණාව සාධනීය වෙනස්කම්වලට භාජනය කිරීමේ පුරෝගාමියා ශාස්ත්‍රපති, සංගීත් නිපුන් මධුර ගුණවර්ධන යැයි වෙසෙසින් හැඳින්විය හැකි ය. එසේ ම පෙරදිග සංගීත ඉතිහාසය තුළ හවායින් ගිටාරය හින්දුස්තානීකරණය වීම සහ මෝහන් විණාව විෂයෙහි විරචිත ප්‍රථම පර්යේෂණාත්මක කෘතිය ද මෙයයි. එනයින් මධුර ස්වර මීරෙන් අනූන මධුර ගුණවර්ධනගේ මෝහන් වීණය ලාංකේය සංගීත ඉතිහාසයට සුවිශේෂී සුලකුණක් ද, ව්‍යවහාරික සංගීත ක්ෂේත්‍රයට නවමු ධ්වනි වර්ණයක් ද එක් කරනු ඇති. 

ආචාර්ය සුදත් වික්‍රමසිංහගේ මුලපිරීම නිසා මේ වන විට ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ “මෝහන් වීණාව” උපාධි පාඨමාලාවක් වශයෙන් ද හදාරනු වස් විද්‍යාර්ථින්ට ඉඩ ප්‍රස්තාව සැලැසී ඇති අතර “හින්දුස්තානි වූ හවායින් ගිටාරය” කෘතිය ඔවුන්ගේ අධ්‍යයන කාර්යයෙහිලා හස්තසාර ග්‍රන්ථයක් වනු ඇත.

දිලංජන මධුෂාන් පතිරණ, සරසවිය බැලුමසෙක්නි: විචාර ලිපි සරණිය (මත්තෙගොඩ: සයුරි ප්‍රකාශන, 2021), 131-136.