Thursday, September 2, 2021

අනුමෙවෙනි බණවරය (ලුහුඬු කාව්‍යාඛ්‍යානය)

දිලංජන මධුෂාන් පතිරණ


මතකයක් හදවතේ පැළ කරමි
එය මා නමින් සුරකින්න


ගැටපද සහ විස්තර

අනුමෙවෙනි බණවර - අනුමෝදන් බණ; මිය ගියා වූ ප්‍රේමයට පින් අනුමෝදන් කිරීමේ බණ යන භාවාර්ථයයි.

පෙමතො ජායතී අසොකො - ධම්මපදයේ “පිය” වග්ගයෙහි එන 05 වැනි ගාථාවේ පළමු පාදයේ අර්ථ විකෘතියකි. “පෙමතො ජායතී සොකො” හෙවත් ප්‍රේමය නිසා ශෝකය ඇති වේ යනු එහි බුද්ධ භාෂිත අර්ථයයි. “පෙමතො ජායතී අසොකො” යනු “ප්‍රේමය නිසා අශෝකය ඇති වේ හෙවත් ශෝකයක් ඇති නොවේ” යන අර්ථයයි.

විසුළ - විසිරුණු

මල් දල - මල් පෙති

පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා දුලබ ම වී ය - කව්සිළුමිණි මහා කාව්‍යයේ 02 වැනි ගීයේ අවසන් පාද දෙක “පෙදෙහි රසහව් විඳුනා - දෙනෙතා ඉතා දුලබො” යනුයි. “පද්‍යයෙක නියම රසභාව වින්දනය කරන්නා වූ ජනතාව ඉතා දුර්ලභ ය” යනු එහි අර්ථයයි.

සිහබා පවත - සිංහබාහු කථා ප්‍රවෘත්තියට අනුව රාජ කුමාරිකාවක් සහ සිංහයෙක් ප්‍රේමයෙන් බැඳී දූදරුවන් ද ලැබ වනාන්තරයේ ගල් ලෙනක වාසය කරති. දිනක් සිංහයා ආහාර සොයා වනයට ගොස් එන විට සිය බිරිඳත්, දරුවන් දෙදෙනාත් ලෙන අතහැර ගොස් සිටිති. තමා හැර යෑම පිළිබඳ අධික විරහා වේදනාවකට පත් වන සිංහයා සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා ව සොයා නගරයට ගොස් අවසානයේ සිය පුත්‍රයා අතින් ම මරණයට පත් වෙයි. එය එසේ නොවී ඒ සිංහයා වියෝ දුකින් ලෙන තුළ ම ළය පැලී මියැදුණේ නම් එය සිය පුත්‍රයා අතින් මැරුම් කෑමට සිදු වීම තරම් වේදනාකාරී නොවනු ඇත.

රස ආත්මය කොට ගත් සොඳුරු වැකි නොවේ, මේ. දුක ආත්මය කොට ගත් වචන ගොන්නක් පමණි. - “වාක්‍යම් රසාත්මකං කාව්‍යම්” යනු ආනන්ද වර්ධන විසින් කවිය නිර්වචනය කළ සංස්කෘත භාෂ්‍යයකි. “කවි වනාහි රසය ආත්මය කොටගත් වැකි ය” යනු එහි අර්ථයයි.

අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනො - සම්බුද්ධ පරිනිර්වාණ මංචකයේ දී ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් කියනු ලැබූ ගාථාවේ මුල් පාද දෙකයි. “සියලු සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍ය වන්නාහු ය; ඉපිද නැසීම ස්වභාව කොට ඇත්තාහු ය.” යනු එහි අර්ථයයි.

සුදු පාවාඩයට එපිටින් ම සමිඳු වැඩියා යළිත් පන්සලට - බුදුන් දවස බෝධිරාජ නම් කුමාර කෙනෙක් වාසය කළ අතර ඔහු දරු සම්පත්තියකට හිමිකම් නොකී ය. දිනක් බුදු පාමොක් මහ සඟ රුවනට සිය මාළිගයෙහි දනට ආරාධනා කළ ඔහු දිගු සුදු පාවාඩයක් එලා අධිෂ්ඨාන කර සිටියේ බුදුරජාණන් වහන්සේ මේ පාවාඩය මතින් වැඩම කළ හොත් සිය දේවියට දරුවෙකු ලැබිය යුතු බවත්, නැතිනම් ඔවුනට දරුවන් නොලැබෙනු ඇති බවත් ය. බුදුන් වහන්සේ ඒ පාවාඩය මතින් වැඩම නොකළහ. දානය අවසන බෝධිරාජ කුමාරයාට උන් වහන්සේ දේශනා කළ වදාළේ පූර්වයේ කළ පාප කර්මයක විපාක වශයෙන් ඔහුගේ ප්‍රාර්ථනය ඉටු නොවන නිසා පාවාඩය මතින් නොවැඩි බවයි. කෙතරම් අකුටිල වුව ද අකලංක වුව ද ප්‍රේමයේ අපේක්ෂා ඉටු නොවුණු බවත්, එය මේ අත් භවයේ නොව පූර්ව පාපයක් වන්නට ඇති බවත් “සුදු පාවාඩයට එපිටින් ම සමිඳු වැඩියා යළිත් පන්සලට යන යෙදුමෙන් ධ්වනිතයි. 

පුදනුව - පුදන්නට 

මල්සර බැලුම’සෙක්නි.... - කව්සිළුමිණි මහා කාව්‍යයේ 02 වැනි ගීය අනුව ලියූවකි. “සරසවිය බැලුම’ - සෙක්නි වෙත් වා කිවි දනො - පෙදෙහි රසහව් විඳුනා - දෙනෙතා ඉතා දුලබො” යනු එම ගීයයි. එහි අර්ථය “සරස්වතියගේ එක් බැලුම් මාත්‍රයකින් ජනයා කවීහු වෙත් වා! (එහෙත්) පද්‍යයෙහි රස භාව වින්දනය කරන්නා වූ ජනතාව ඉතා දුර්ලභ වෙති.” යනුයි. “මල්සරා හෙවත් අනංගයාගේ එක් බැලුම් බැලුම් මාත්‍රයකින් ජනතාව පෙම්වත්හු නොවෙත් වා! (මක් නිසා ද යත්) ප්‍රේමයෙහි (සැබෑ) රස භාව වින්දනය කරන්නා වූ සිත් ඉතා දුර්ලභ ය.” යනු “මල්සර බැලුමසෙක්නි....” යන ගීයේ අර්ථයයි.